
වීර කාව්‍යයක් වන රාමායණයෙහි ලංකා ඉතිහාසය විකෘති කර තිබීමට එරෙහිව ඉන්ද්‍රජිත් බණ්‌ඩාර නම් ලේඛකයකු විසින් ජුනි 2 දින බදාදා අතිරේකයට ලියා තිබූ ලිපිය කියවීමෙන් පසු මෙය ලිවීමට මා පෙළඹුණි. "රාමායණය" ආක්‍රමණශීලී ලෙස සංහල ජන සමාජයට ඇතුළුවීමට උත්සාහ දැරීම ලේඛකයාගේ වේදනාවට හේතුවී ඇත.
"රාමායණය" යනු ඓතිහාසික රාවණ රජු ඇසුරින් වීර කාව්‍යයක් නිර්මාණාත්මකව සම්පාදනය කිරීමකි. එය ඇතුළත් වන්නේ ඉතිහාසයට නොව සාහිත්‍ය ගණයටය. නමුත් බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී ඉංග්‍රීසි සිවිල් සේවකයන් විසින් එය ඓතිහාසික තත්ත්වයට නංවාලීමට දැරූ තැත අද දේශපාලනය තුළින් සාර්ථක වී ඇත. 2009 ඔක්. 17 වැනි දින පසුගිය දීපවාලි උත්සව දිනයේදීද මෙරට පාලකයන්ගේ "දීපවාලි පණිවිඩ" එදින පුවත්පත්හි පලවිය. ඒවායේ කියෑවුණේ අඳුර (දුෂ්ට සල්ලාල රාවණ) නසා ආලෝකය (දැහැමි ශ්‍රේෂ්ඨ රාමකුමරු) ජයගැනීම සංකේතවත් කිරීමට දීපවාලි පහන් වැල
(දීප + ආවලී) දල්වන බවය.
හින්දු සම්ප්‍රදායට අනුව බ්‍රහ්ම ලෝකයේ එක් දවසක් අප පෘථිවියේ අවුරුද්දකි. එබැවින් එම අවුරුද්ද දිවා සහ රාත්‍රි ලෙස දෙකකට බෙදේ. තෛපොන්ගල් සිට දීපවාලි දක්‌වා දිවා කාලයයි. යළි දීපවාලි සිට තෛපොන්ගල් දක්‌වා රාත්‍රියයි. නමුත් ඩොනමෝර් ආණ්‌ඩු ක්‍රමය තුළ දෙමළ හින්දු ප්‍රභූ දේශපාලනය සිංහල ප්‍රභූ දේශපාලනයට පරාජය වීම නිසා දෙමළ හින්දු ප්‍රභූවරු අලුත් අර්ථකතනයක් දීපවාලියට දුන්හ. එනම් ඉන්දියාවේ දුර්ගා පූජාව ඇසුරින් දීපවාලිය යනු "රාවණා නොහොත් නරක පරදා රාමා නොහොත් හොඳ" ජයගැනීම යනුවෙනි. අද අපේ දේශපාලන නායකයන් විසින් ගිරවුන් ලෙස උච්චාරණය කරන්නේ එයයි. ඔවුන් විසින් අයහපත හා යහපත යන වචනද පාවිච්චි කරන්නේ එහි අර්ථය නොදැනද යන්න ප්‍රශ්නයකි.
අනුරාධපුර මුල් යුගයේදී රාම-රාවණ කතාවක් වෙනුවට පැවතියේ "දශරථ ජාතකය" වේ. එහි රාම පණ්‌ඩිතයන් යනු එක් බෝධිසත්ව අවස්‌ථාවක් පමණි. ඔහු විසුවේ අයෝධ්‍යාවෙහි නොව බරණැසය.
මේ නියම ඓතිහාසික තත්ත්වය දැක්‌වීම නොව රාමායණයෙන් හෙළදිවට හා හෙළයාට වූ අවමානය අවම කිරීමට අටුවාචාරීන් වහන්සේලා ජාතක අටුවාවට රාමා කතාව එකතු කළ ආකාරයයි. පාරම්පරික ජනකතා ඇසුරින් රාවණ රජු ගැන ගැමියන් දැන සිටීම නිසා රාමායණයට ප්‍රහාර එල්ලකිරීමේ අවශ්‍යතාව එදා නොවීය. කෝට්‌ටේ යුගය වන විට ගිරා සන්දේශයේ දැක්‌වෙන පරිදි රාම-සීතා කතාවත් අම්බලමේ විනෝදයට කී ඕපාදූප සාහිත්‍ය ගණයේ පැවතුණි.
අටුවාචාරින් වහන්සේලා විසින් බුදු දහමට අටුවාවන් ලිවීම එම දහම ලංකාවට අවුත් සියවසක් ගතවීමට ද පළමුව ඉටුකරන ලදහ. වාල්මිකී ගේ රාමායණය ක්‍රි. පූර්ව 4 සියවසේ ලියූ බව සැලකෙන අතර අටුවා සම්පාදනය ක්‍රි. පූර්ව 2 සියවසේදී පමණ සිදුවිය. මේ අනුව රාමායණය ලියවී සියවස් දෙකකට වඩා ඒ වන විට කාලය ඉකුත්වී නොතිබිණි. දශරථ ජාතකය බෝධිසත්ව ආත්ම භවයක තොරතුරු ලෙස දැක්‌වූයේ එබැවිනි.
යුරෝපයට මෙන්ම සමස්‌ත භාරතයටද තිබුණේ එඩේර ශිෂ්ටාචාරයකි. නමුත් යුරෝපයේ මස් අනුභව කරන එඩේරා වෙනුවට භාරතයේ කිරි ආහාරයට ගත් "පස්‌ගෝ රස එඩේරා" ජීවත් විය. එසේ වුවද යුරෝපීය එඩේරාට මෙන්ම ඉන්දීය එඩේරාටද යුද්ධ වැදගත් විය. භාරතය යනු ජාතියක් නොමැති වූ හා ඒ වෙනුවට රාජවංශ ඉතිහාසයන් පමණක් ඇති දේශයකි. (මහවිහාරික භික්‍ෂුන් ලංකාවට මහාවංශය ලියවූවේද එම රාජවංශ සම්ප්‍රදායට අනුවය). ඔවුන්ට යුද්ධය පූජනීය විය. රජු යනු වීරත්වයේ සංකේතය විය. ඔහු රණකාමී වීම අවශ්‍යය. අවට රාජ්‍යයන් යුද්ධයෙන් අත්පත්කර ගැනීම රජෙකුගේ ශ්‍රේෂ්ඨත්වයට හේතු විය. අනතුරුව රාජසුය, වාජජෙය හා අශ්වමේධ වැනි මහා යාගයන් තුළින් තම තමන්ගේ බල පරාක්‍රමය ලොවට පෙන්වූහ.
මෙවැනි භාරතයකට "වීර කාව්‍යයන්" අත්‍යවශ්‍යය. එම අවශ්‍යතාව සපුරාලීමට බිහිවූ විවිධ වීර කාව්‍යයන් අතර ප්‍රධාන වූයේ "රාමායණය හා මහා භාරතයයි". ක්‍රි. පූර්ව 6 වැනි සියවස නොහොත් බුද්ධ කාලීන ඉන්දියාවේද පැවතුනේ සොළොස් මහ ජනපදයන්ය. රාමායණය ලියවුණු ක්‍රි. පූ. 4 වැනි සියවසෙන් හා මහාභාරතය ලියවුණු ක්‍රි. පූ. 3 සියවසෙන් පසුව පමණක් උතුරු ඉන්දියාවේ නන්ද අධිරාජ්‍යය හා මෞර්ය අධිරාජ්‍යයද, දකුණු ඉන්දියාවේ සාතවාහන අධිරාජ්‍යයද බිහිවුණි.
රාමායණයෙහි ඓතිහාසික තොරතුරු විකෘති කර ඇත්ද යන්න ගැන අප "බරපතල ලෙස" සිතිය යුතු නැත. කලාත්මක කටයුත්ත යනු රස නිෂ්පාදනය මුල්කර පවතී.
රාමායණය ඓතිහාසික කෘතියක් නොවන බව රාමායණයම පවසයි. පහත සඳහන් කරුණු තුළින් එය පැහැදිලිය.
1. රාමා යනු මනුෂ්‍යයකු නොව විෂ්ණුගේ හයවැනි අවතාරයයි.
2. සීතාද මනුෂ්‍ය දුවක නොව හී විටෙන් ඕපපාතිකව උපන් තැනැත්තියකි.
3. අයෝධ්‍යාව නේත්‍රා යුගයට අයත් බව රාමායණය කීවද එය ක්‍රි. පූ. 6 සියවසේ ඉදිවූවකි.
4. රාම කුමරු මනුෂ්‍ය නොවන නිසා පරම්පරාවක් නැත.
5. ආදම්ගේ පාලම රාමා බැඳි එකක් නොව වසර 1,75,000 ට වඩා පැරණි එකකි.
6. මුව පැටවෙකුගේ වෙස්‌ගත් රකුසෙක් සීතා ඉදිරියෙන් දිව යන ලදී.
මේ අතරම රාවණ රජු ඓතිහාසික පුද්ගලයෙකු බව සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක, ලේඛනගත හා ජනප්‍රවාද සාක්‍ෂි ඇත.
1. 2003 මැයි මස දී ඉන්දියානු සාගර දූෂණ කොමිසම මගින් කැම්බේ බොක්‌කෙහි මුහුදු පත්ලෙන් ජනස්‌ථානය සොයා ගැනීම.
2. රාවණ රජුගේ සෙල්ලිපි මෙරට ඇති අතර ඉන් එකක් පමණක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විකෘති කර (IC 515) ලංකා ශිලාලේඛන සංග්‍රහය ෂ කාණ්‌ඩයෙහි දක්‌වා ඇත.
3. රාවණ රජුට පරපුරක් හා ඥතීන් ඇත.
4. රාමායණයේ "පුෂ්පක" නාමයට සමාන්තරව ජනප්‍රවාදයේ "දඬුමොණරය" ඇත.
5. කුවේරට පාලනයට දුන් කෛලාස කූටය අදත් දක්‌නට පුළුවන. එය අද සංචාරක පුරයකි.
6. රාවණ රජු උග්‍ර තපස් කරන ලද "ගෝකණ්‌ණ" අද ත්‍රිකුණාමලයයි.
වාල්මිකී ජීවත් වූ යුගය වනවිටත් සමකාලීන ලෝකය දැනගෙන සිටි මහා බලසම්පන්න රජු රාවණ විය. එබැවින් විශ්ණු විසින් රාම අවතාරයෙන් ගොස් රාවණ පැරදවීම මන:කල්පිත වස්‌තු බීජයක් වටා "මහා වීරකාව්‍යය" නිර්මාණය කිරීම සාහිත්‍යය පැත්තෙන් බලන විට දැවැන්ත කර්තව්‍යයකි. රටක ජනතාව විසින් සතුරා ජයගෙන විනාශ කර දැමීම ගැන කෙතරම් උද්දාම වන්නේද කෙතරම් ප්‍රීති වන්නේද යන්න ගැන කොටි ත්‍රස්‌තවාදය පරදවා ලැබූ හමුදා ජයග්‍රහණයට අප ප්‍රතිචාර දැක්‌වූ අන්දමින්ම පැහැදිලිය. වැටුප් හා ලාභ ලෙස ධනය උපයා ජීවත්වන පුරවැසියන්ගෙන් යුතු වත්මන් ශ්‍රී ලංකාව එබඳු හැසිරීම් රටාවකට පෙළඹුණද ස්‌වයංපෝෂිත කෘෂි සමාජය පැවති සිංහල රජ දවස එබඳු ආවේගශීලී උද්දාමයකට එළැඹීමක් සිදු නොවිණි. ස්‌වයංපෝෂිත සමාජය බුද්ධියට බර දාර්ශනික සමාජයක් විය.
1990 පමණ යුගයෙන් පසුව ගවේෂණවල නියුතු වූ නව පරපුරේ ඇමෙරිකන් මානව විද්‍යාඥයන් විසින් හෙළයන්ගේ අසුර නම් සංස්‌කෘතික අධිරාජ්‍යයක් හැඳිනගෙන ඇත. නිවර්තනික ලෝකය තුළ තිබූ සමාන සංස්‌කෘතික ලක්‍ෂණවලින් යුත් මෙම දේශයන් බටහිරින් දකුණු ඇමෙරිකාවේ ටිටිකාකා විල ආශ්‍රිත පාතාල රාජ්‍යයේ පටන් නැගෙනහිර දිගට පැසිපික් සයුරේ රමණක දේශය (හීජි දූපත්) දක්‌වා විහිදී තිබිණි. ඉංග්‍රීසින් වන්දනා කරන ශ්‍රී ලංකාවේ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් තවමත් මෙය පිළිනොගනී. ඊට හේතුව බ්‍රිතාන්‍ය පාලන යුගයේදී ඔවුන් විසින් මෙය ප්‍රකාශ කර නැතිවීමය. එබැවින් මෙම හෙළ අසුර සංස්‌කෘතික අධිරාජ්‍ය බටහිර ඉතිහාසඥයන් විසින් හඳුන්වන්නේ "රාමා අධිරාජ්‍යය" (Rama Empire) නමිනි. රාවණ රජුගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා මෙම අධිරාජ්‍යය බිඳවැටීයාමේ ඓතිහාසික ක්‍රියාදාමය රාමායණය තුළ ප්‍රබන්ධ වී ඇත්තේ රාම කුමරකු හා ඇතිවූ යුද්ධයකින් සිදුවූ ලෙසටය. සාහිත්‍යයේ ස්‌වරූපය එයයි. රස නිෂ්පාදනය එහි එකම අරමුණය.
හෙළ-අසුර සංස්‌කෘතික අධිරාජ්‍යයට කණකොකා හැඬුවේ තාරකගේ හා සුරගුප්තගේ ඉල්ලීම පිට විශ්වකර්ම (මායා අසුර) විසින් ගොඩනංවන ලද "ලංකාපුරය" බිහිවීමෙන් පසුවය. රට අරාජික වූ විට කුවේර (කුබිර) විසින් ලංකාපුරය අත්පත්කරගතී. විශ්‍රාවස් මුණිගේ (විසව) ඉන්දීය බිරියකගේ දරුවා වූ කුවේර රජකමින් නෙරපූ රාමණ විසින් රජකම, ලංකාපුරය හා පුෂ්පක ගුවන් යානය තමන් සතුකර ගනී. අධික යසස්‌කාමී රාවණ තමාගේ පුද්ගලික සිතැඟි අනුව අධිරාජ්‍යය හසුරුවන්නට විය. සංස්‌කෘතික ඒකීය බව බිඳී කේන්ද්‍රයේ සිට පරිධිය හසුරුවන දේශපාලන අධිරාජ්‍යයක ස්‌වරූපය ඉන්පසු මතුවන්නට විය. නිර්මාංශිකයෙකු වූ රාවණ දණ්‌ඩකාරණ්‍යයේ සෘසිවරුන්ගේ හා මුණිවරුන්ගේ බිලි පූජා සහිත හෝම පූජා කඩාකප්පල් කරවීමට දණ්‌ඩක වනයේ රකුසන්ට අණ දුනි. ඔවුහු එසේ කළහ. (වෛදික යුගයේ බමුණන්ගේ බිලි පූජා සහිත යාගහෝම ඉන් අවුරුදු දහස් ගණනකට ඉහත සිටි සත්‍යලෙස ඒවාහි නොයෙදුන සෘෂිවරුනට හා මුණිවරුනට ආදේශ කිරීම වාල්මිකී කළ දෙයකි). දණ්‌ඩකාරණ්‍යයේ සිටි ප්‍රාථමික දේව ආගම් ඇදහූ අය සමග රකුසන් ගැටී පරාජය වීම රාම කුමරුගේ පළමුවැනි අවස්‌ථාවේ කාඩකා ඇතුලු 12,000 ක් රකුසන් ඝාතනය යනුවෙන් රාමායණය හඳුන්වයි. සුපර්ණකාගේ සැමියා වන විද්යුත පාතාල රජ්‍යයට යෑවුණේ ස්‌වාධීනව සිටි එම රාජ්‍යය යටත්කර ගැනීමටය. නමුත් විද්යුත පරාජය වී ඝාතනය විය.
අනතුරුව වැන්දඹු සොයුරිය සුපර්ණකා දණ්‌ඩකාරණ්‍යයේ පරිපාලනයට යෑවීය. රාම, ලක්‍ෂමන හා සීතා සමග ඇගේ ඇතිවූ ගැටුම දිග්ගැස්‌සී අන්තිමට සීතා පැහැරගෙන අවුත් රාම-රාවණා යුද්ධයද ඇතිවුණි. සීතා පැහැරගෙන ඒම යනුවෙන් සංකේත ලෙස දක්‌වන්නේ උතුරු ඉන්දියානු තාක්‍ෂණයක් හෝ ඖෂධ ක්‍රමයක් හෝ ඇඟළුම් ක්‍රමයක් වැනි කිසිවක් අත්පත්කර ගැනීම විය හැක. මේ ගැන යුද්ධයක්‌ද ඇතිවූවා පවා විය හැක. තම සිතැඟි අනුව සම්ප්‍රදායික සංස්‌කෘතික අධිරාජ්‍යයක් හැසිරවීමට දැරූ අසාර්ථක උත්සාහය නිසා සතුරන් වැඩි වී එම සතුරුකම් වලට ඔරොත්තු නොදීමෙන් හෙළ අසුර අධිරාජ්‍යය බිඳ වැටුන බව පැහැදිලිව දැකිය හැක. විශ්ණු භක්‌තිකයන් තම දෙවියන්ගේ තෙදබල වර්ණනා කිරීම සඳහා මෙම සිදුවීම විශ්ණුගේ රාම අවතාරය මගින් යුද්ධයෙන් රාමණ නැසීම ලෙස රාමායණය දක්‌වයි. නිමිත්ත ලෙස සීතා පැහැරගෙන ඒමද දක්‌වයි.
මෙබඳු සාහිත්‍ය සම්ප්‍රදායක් ලංකා ඉතිහාසය බවට පත් කිරීමට අවශ්‍ය වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයටය. ඉමර්සන් ටෙනන්ට් පවසන පරිදි අප්‍රේල් මස වසන්ත නිවාඩුවට නුවරඑළියට (N'Eliya Scason) එකතුවන යුරෝපීය සිවිල් සේවකයන් ව්‍යාපාරිකයන්, වතු පාලකයන්, විවිධ රාජ්‍ය සේවකයන් විනෝද වූයේ යුරෝපයේ පරිදිය. එහි යුරෝපීය දේශගුණය තුළ තම රටේදී මෙන් කමින්, බොමින්, ආලිංගන නැටුම් වල යෙදෙමින් සිටි පිරිස අතර උගත් ශාස්‌ත්‍රවන්ත සිවිල් සේවකයන් අතළොස්‌සක් මීවිත තොලගාමින් දොඩමළු වූයේ නව සොයාගැනීම් ගැනය. කෝපි වතුවලට හා පසුකලෙක තේ වතුවලට ආ දකුණු ඉන්දියානු පූසාරින් සංගම් සාහිත්‍යය අනුව යමින් ආධිපත්‍යවාදී කතාන්තර ප්‍රබන්ධ කළහ. මෙම දොඩමළු උගත් සිවිල් සේවකයන් අතින් ඔපදමා අවසානයේ රාජකීය ආසියාතික සංගමයේ ලේඛන හා දේශන ලෙස ශාස්‌ත්‍රීය ස්‌වරූපය ගැනීමද සිදුවිය. සීතා-රාවණ නුවරඑළියට පැමිණියේ මෙසේය.
නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ වතු කම්කරුවන්ගේ කෝවිල් සේවාව සඳහා පැමිණි දකුණු ඉන්දියානු දෙමළ පූසාරිවරු අලුත් නිර්මාණයන් කළහ. දෙමළ සාහිත්‍යයට (සංගම්) පුරුදු පරිදි තම අයිතිය හා ආධිපත්‍යය හැඟවෙන කතා සම්පාදනය එම කාර්යයයි. "ශීත එළිය", "ශීත ගුහාව", "ශීත කොටුව", "ශීත ඇල්ල" ආදී ශීතල හඟවන නම් "සීතා" බවට පරිවර්තනය කර රාමායණයේ සීතා කුමරිය සඟවා තිබූ ප්‍රදේශය නුවරඑළිය අවට බව ඒත්තු යන කතා ප්‍රබන්ධ කළහ. අප්‍රේල් වසන්ත සමයේ නුවරඑළියට ඇදී ආ උගත් සිවිල් සේවකයන්ගේ ඉහත සඳහන් කරන ලද සාකච්ඡා තුළින් නුවරඑළිය යනු රාවණාට හා සීතාට සම්බන්ධ ප්‍රදේශයක් කළහ.
මේ අතර ජෝන් ද සිල්වා හා සී. දොන් බස්‌තියන් වැනි නූර්තිකරුවන් අතින්ද "රාමායණය" නාට්‍යය නිපද වූ අතර සමකාලීන පුවත්පත් සඟරාවලින් හා උගතුන් අතින් ඊට ප්‍රශංසා සම්මාන ලැබුණි. දෙමළ රාමායණය වූ බාල රාමායණය ඇසුරින් නිපදවූ මෙම නාට්‍යවල සුපර්ණකා හැඳින්වීමට.. "පරට්‌ට බැල්ලි, වේසාවි...." ආදී වශයෙන් හා රාවණ හැඳින්වීමට "දුෂ්ට සල්ලාලයා..." වැනි අශික්‌ෂිත වචන භාවිත විය.
අවසානයේ පාසල් පන්ති කාමරය තුළට රාමායණය පිවිසුනේ මාරි මියුසියස් හිඟින්ස් මැතිනිය අතිනි. ඇය ලියූ පාසැල් දරුවන් සඳහා ඉතිහාස කථා (Historical Tales for School Children) පොතෙහි ශීත යන්න 'Sitha හා Sita', ලෙස සඳහන්ව "සීතා" ලෙස උච්චාරණය කරමින් සීතා කුමරියගේ නුවරඑළිය වාසය ගැන ඉංග්‍රීසි පාසල්වල උගැන්වීමට සමකාලීනවම සිංහල පාසල්වලටද ඇතුළු විය. විජය, පණ්‌ඩුකාභය, විහාර මහා දේවි, දුටුගැමුණු, පරාක්‍රමබාහු සමග රාවණා රජු ගැනද ඉගැන්වීම තුළින් මෙය සිදුවිය. මහාවංශය හා රාමායණය යුරෝපීය ඇසට සමාන කතාන්තර විය. ඉහත සඳහන් කළ පරිදි ඩොනමෝර් යුගයේදී දෙමළ දේශපාලනය විසින් "දුස්‌රා" උත්සවය ඇසුරින් දීපවාලී අර්ථකථනය ශ්‍රී ලංකාව තුළදී අලුත් වූ අතර වර්තමානයේදී සිංහල දේශපාලඥයන් හා රාජ්‍ය නායකයන්ද එයම උච්චාරණය දක්‌වා අපහාසය වැඩී ගියේය.
1990 දශකයේදී යුද්ධය මුල්කරගෙන සාමය පතා රාජ්‍ය අනුග්‍රහය ඇතිව රාමා කෝවිල, සීතා අම්මාන් කෝවිල හා හනුමන් කෝවිල්ද බිහිවිය. නුවරඑළිය ප්‍රදේශය ඉක්‌මවා ගිය මෙම කෝවිල් මහ කොළඹ ප්‍රදේශයටද පැමිණියේය. අන්තිමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (ලංකා සංචාරක මණ්‌ඩලය (SLTDA) විසින් මෙසේ හතු පිපෙන්නා සේ ඇතිවූ රාමායන කෝවිල් හඳුන්වා ඇත්තේ "රාවණාගේ පිය සටහන්" ලෙසටය. දකුණු කොළඹ කළුබෝවිල රෝහල අසලද එබඳු ස්‌ථානයක හනුමන්තාගේ කෝවිලක් ඇති බව සංචාරක මණ්‌ඩල ලියවිලිවල ඇත. ඊටත් වඩා රසවත් විහිළුවක් වන්නේ වේර+ගං+තොට (මහියංගණය) නාමයේ "තොට" ඇති නිසා එය රාවණ රජුගේ ගුවන්යානය ගොඩ බැස් වූ ගුවන් තොටුපළ ලෙස විස්‌තර කිරීමය. "වෙහෙර" සහ "ගංගාව" අමතක වී ඇත. සංචාරක මණ්‌ඩලයේ "රාවණ පියසටහන් කමිටු" රැස්‌වීම් කොළඹ හා තදාසන්නයේ කෝවිල් තුළ මසල වඩේ හා උළුඳු වඩේ බුදිමින් පැවැත්විණි. 2008 හා 2009 තුළ ක්‍රියාත්මක වූ මෙම ක්‍රියාදාමය 2009 මැද භාගයෙන් පසු කඩා වැටුන තත්ත්වයක ඇත. ඉන්දියානු එක් සංස්‌කෘතික ආක්‍රමණයක් මෙසේ වැටුනද "අයිෆා" සිනමා උලෙළ ලෙසට එය 2010 ජුනි මුලදී පැමිණ තිබුණි.
අන්තර්නයන මෝස්‌තර (Patteerns of Interferance) යනුවෙන් බටහිර ලෝකයේදී හඳුන්වන යෙදුම අර්ථවත් වන සැටි දැකීමට සංචාරක මණ්‌ඩලයේ රාමායණ උෙද්‍යාaගය හොඳම නිදසුනකි. යෝජිත සීපා ගිවිසුම් ගැන ව්‍යාපාරිකයන් අතර ඇත්තේ බලවත් විරෝධයකි. අප කුඩා කාලයේ ඇසූ හා යෙදුණු ක්‍රීඩාවක් වූයේ "යොන් මැරීමයි". නැව ගිලෙන විට එහි සිටියවුන් 50% මුහුදට දැමීමට අවශ්‍ය විය. සිංහල නැව්පතියා රවුමක් ගණන් කර අවසානයට එන එකා මුහුදට දැමීමේදී යෝනකයන්ම එසේ තේරීමට හැකිවන අයුරු වෘත්තය සැදීම යොන් මැරීමේ ක්‍රීඩාවයි. නමුත් රාවණා සෙල්ලම හැරුණු විට ලංකාවට මැදිහත්වීමේ වෙනත් උපාය මාර්ග ඉන්දියාවට දැන් ඇත.
සූරිය ගුණසේකර
http://www.divaina.com/2010/06/23/badada01.html
No comments:
Post a Comment