Saturday, October 27, 2012

හෙළිදිව රැකගත් පරුමකවරු

  • පරුමක යනු ඉපැරණි සංස්‌කෘත - ප්‍රමුඛ - නාමයේ හෙළ වහර බැව් විද්වතුන් ගේ මතය වී තිබේ. Phomological changes transformed Skt. Parumaka to old Sinhalese PARUMAKA. (Radha Kumud Mukhargee - LOCAL GOVERNMENT IN ANCIENT INDIA, P 47) GOLDSCHMIDT - Equated Perumaka with Skt' BRAHMAN (Indian antiquary Vol. V. P 190)

    මෙම පරුමක නාමය දෙමළ පෙරුමකන් වූ අතර, දෙමළ බසට එය ලැබුනේ ද සංස්‌කෘත ප්‍රමුඛ නාමයෙන් බැව් හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ සද්ධා මංගල කරුණාරත්න සූරීන් කියයි. (පෞද්ගලික ලිපිය 01.02.1996) සිංහල රජවරුන් ද "මහා පරුමක" නමින් හඳුන්වා ඇති බැව් කිව යුතුව ඇත.
    ඉන්දු ආර්ය ශිෂ්ඨාචාරය හෙළ දිවට හැඳින්වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පුරාණ ඉන්දු ආර්ය ප්‍රභූවරුන්ගෙන් පැවත එන්නන්ගෙන් මෙම පරුමත නාමය ලත් ප්‍රභූ පිරිස බිහි වූවාට සැක නැත. මහවංශයේ "ඉස්‌සර" නමින් හඳුන්වන ජන කොටස පරුමක වරුන් බැව් කිව හැක. (මහ වංශය XXV පිටු 14)


    පුරාණ සෙල්ලිපි සීට්‌ටු, කුඩපත්, පුස්‌කොළ ලේඛන. ආදිය මෙම පරුමක වරුන් පිළිබඳ බෙහෙවින් විස්‌තර කොට ඇත. කෙසේ වුවද මෙම ඉන්දු ආර්ය ජනාවාස හෙළදිව පිහිටු වීමෙන් පසු ආරම්භ වූ තනතුරක්‌ මිස ප්‍රාග් ඓතිහාසික යුගයේ පැවැති තනතුරක්‌ නොවන බව කිව යුතුය.
    වැඩ වසම් යුගයේ විවිධ සේවා කණ්‌ඩායම් භාර ප්‍රධානීන් පරුමක වරුන් ලෙස හැඳින්වූ අතර කුමන කුලයක ට අයත් සේවා කණ්‌ඩායමක වුවද ප්‍රධාන තනතුරු හොබවා තිබෙන්නේ වංශවත් බ්‍රාහ්මණයින් විසිනි. මෙම පරුමකවරු වශයෙන් බෙහෙවින් හැඳින්වුනේ බ්‍රහාග්මණයින් බැව් කිව හැක්‌කේ එබැවිනි.

    ශ්‍රී ලංකාව විදෙස්‌ ආදිපත්‍යයෙන් මුදා ගැනීම පිණිස පරුමක වරුන්ගෙන් ලැබුන සහයෝගය අති මහත් ය. කාර්යක්‍ෂම ලෙස රට පාලනය කිරීම පිණිස විවිධ රාජ්‍ය සේවා කටයුතු සම්පාදනය කිරීම පිණිස මිනිස්‌ සම්පත් රජුට සපයා දී තිබෙන්නේ ද මෙම සම්භාවනීය පරුමකවරු විසිනි.
    යුද අවි ආයුද නිපදවීම, තානාපති සේවය, කෘෂිකර්ම කටයුතු සඳහා වාරි මාර්ග පිළියෙල කිරීම. විවිධ කටයුතු සඳහා රජවරුන්ට සහය වීම මෙන්ම යුද සේවය ද ප්‍රමුඛත්වය දැරුවෝ අන් කිසිවක්‌ නොව පරුමකවරුන් බැව් සෙල්ලිපි සාහිත්‍ය අනුව කිව හැක. යුද සෙනෙවිවරු පවා විශ්‍රාමයෙන් පසු පරුමකවරුන් ලෙස හඳුන්වා ඇත. දුටු ගැමුණු (ක්‍රි. පූ. 161) මහ රජුගේ නන්දිමිත්‍ර සෙනෙවියා පරුමක නදීක මිත්‍ර යනුවෙන් නැට්‌ටුක්‌කන්ද සෙල් ලිපියේ සඳහන් වේ. (INSCRIPTIONS OF CEYLON IXX) පානම, කුඩුම්බිගල සෙල් ලිපියේ ද පරුමක නදික ගේ පුත් පරුමක මිත ගැන සඳහන් වී ඇත. පරුමක මිත ගේ පුත් පරුමක බමණඋති කන්දෙගම කන්දේ ලෙණ පූජා කළ බැව් එහි සෙල් ලිපියේ සඳහන්ය. (INSCRIPTIONS OF CEYLON P. IXV III)

    පරුමක බ්‍රාහ්මණ තිස්‌ස විසින් දඹුල්ලේ ලෙණක්‌ පූජාකළ බැව් දඹුල්ලේ සෙල් ලිපියක සටහනක්‌ ඇත. (IBID) එමෙන් ම පරුමක සූරිය ගේ පුත් බ්‍රාහ්මණ දාටක විසින් මොලගොඩ ලෙණක්‌ පූජා කළ පුවත මොළගොඩ සෙල් ලිපියේ සඳහන් වේ. බ්‍රාහ්මණ දත්ත ගේ පියාණන් වූද බ්‍රාහ්මණ මෙගලි ගේ පුත්‍රයා වූ ද පරුමක ම-ජිම දියබැත්ත විහාරයේ ගල් ලෙණක්‌ පූජා කළ බවත්, දුණු නිෂ්පාදනයෙක්‌ වූ බ්‍රාහ්මණ ගුත්ත ගේ පියා වූ පරුමත බ්‍රාහ්මණයා විසින් හණුගල ලෙන මහ සංඝයා ට පුද කළ බවත්, පුරාණ සෙල් ලිපි වලින් පෙනී යන බැව් කිව හැක. (IBID)
    විවිධ අවස්‌ථාවල විවිධ තනතුරු දැරූ බ්‍රාහ්මණයින් මෙසේ පරුමක වරුන් ලෙස හැඳින් වූ අතර, පියා විසින් කරණ ලද රැකියාව පුත්‍රයා විසින් කළ බවට බොහෝ අවස්‌ථාවල සඳහන් ව ඇත. පියා දුණු නිපදවන්නන්ගේ පරුමකයා වූ අතර, පුත්‍රයා ලෝහ කම්කරු ශිල්පීන් ගේ පරුමක වූ අවස්‌ථා ද සෙල් ලිපි වලින් හමු වේ.
    කෙසේ වුවද, බ්‍රාහ්මණයින් පරුමක ලෙස නිලය දැරූ බැව් මහාචාර්ය හේම එල්ලාවල අදහස්‌ කරයි. (SOCIAL HISTORY OF EARLY CEYLON P115)
    Eighteen of more important crafts were organised in to Guilds. Each of which was presided over by a Foreman. PARUMAKA. It is doubtful if the full guild organisation had spread to seamen and Traders. (AN ADVANCED HISTORY OF INDIA. P 46) විවිධ කර්මාන්ත සඳහා පිළියෙල වූ ජන කොටස්‌ වලට අයත් ප්‍රධානීන් පරුමකවරුන් ලෙස හැඳින් වූ බැව් ඒ අනුව සිතා ගත හැක. වෙළෙ¹ම සහ නාවුක සේවය හැර අනෙකුත් සෑම අංශයකට ම පරුමකවරුන් සිටි බැව් "ඇන් ඇඩ්වාන්ස්‌ඩ් හිස්‌ටරි ඔµa ඉන්ඩියා" ග්‍රන්ථය අනුව විශ්වාස කළ හැක.
    විවිධ රාජකාරි සේවා කටයුතු වලින් පුරුදු පුහුණු වී සිටි බ්‍රාහ්මණයින් මෙසේ පරුමක තනතුරු වලින් පුද ලබා ඇති අතර බ්‍රාහ්මණ පරම්පරා වලට අයත් නැති පරුමකවරු ද සිටී බැව් කිව යුතුය. සෑම බ්‍රාහ්මණයෙක්‌ ම පරුමත වරයෙක්‌ නොවන අතර, සෑම පරුමකවරයෙක්‌ ම බ්‍රාහ්මණයෙක්‌ ද නොවන්නේ ය.

    මෙම පරුමක බ්‍රාහ්මණවරු බොහෝ දෙනෙක්‌ බෞද්ධයෝ වූහ. බුදු රජාණන් වහන්සේ ගේ 09 වෙනි 13 වෙනි සහ14 වෙනි වස්‌ කාලයේ දඹදිව කොසොල් රටේ සාලී පබ්බත ග්‍රාමයේ වස්‌ විසූ බවත්, එහි සියලු බ්‍රාහ්මණ වංශකයින් බුදු සමය වැළඳගත් බවත්, ත්‍රිපිටකයේ සඳහන් වේ. මෙම සියලු බෞද්ධ බ්‍රාහ්මණයින් සාලී පබ්බතයේ සිට අනේක විධ රාජ්‍ය සේවය සඳහා හෙළ දිවට සංක්‍රමණය වූ බ්‍රාහ්මණයන් විය හැක.
    දුටු ගැමුණු (ක්‍රි.පූ. 161-187) රජුගේ දසමහ යෝදයින්ගෙන් සැලකිය යුතූ පිරිසක්‌ පරුමක බ්‍රාහ්මණ පරම්පරාවලට අයත් බැව් සෙල්ලිපි සාහිත්‍ය ය විමසා බලන විට පෙනෙන සත්‍යයකි. නන්දිමිත්‍ර යෝදයාගේ මෑණියන් වූ සොණ ද මෙම පරුමකවරයෙකු ගේ දියණියක්‌ වන අතර, ඇගේ සොහොයුරා ද පරුමකවරයෙකි. එළාර රජුගේ හමුදාවේ සෙන්පතියෙක්‌ ලෙස ඇගේ සොයුරන් සේවය කර ඇත. (INSCRIPTION OF CEYLON IXX) ශ්‍රී ලංකාවේ මෙතෙක්‌ කියවීමට හැකි වූ සෙල්ලිපි සියල්ල ම දේවානම් පියතිස්‌ස යුගයේ සිට ආරම්භ වූ සෙල් ලිපි ලෙස පුරා විද්‍යාඥයන් හා ඉතිහාසඥයන් හඳුනා ගෙන ඇත. (ශිෂ්ඨාචාරය පිටු 40).

    දේවානම් පිය තිස්‌ස යුගයෙන් ඔබ්බට සෙල් ලිපි, අභිලේඛන, ඇති නමුත් ඒවා නිවරදි ලෙස කියවා සාධාරණ නිගමනයන් දීමට මෙතෙක්‌ කිසිවෙක්‌ සමත් වී නැත.
    දේවානම් පියතිස්‌ස රජු කල "ගාමිණී" හා "මහපරුමක" නමින් හැඳින් වූ ස්‌වාධීන ගම් ප්‍රධානින් පිරිසක්‌ හෙළදිව ජීවත් වූ බවට සාක්‍ෂි ඇත, (රාවන කථා) මහපරුමක ලෙස එක්‌ පිරිසක්‌ හඳුන්වා තිබෙන්නේ පරුමකවරුන් ද එකල සිටි නිසා බැව් විශේෂයෙන් කිවයුතු නැත. මෙම මහ පරුමකවරුන් මෙන්ම පරුමක වරුන්ද විවිධ ශිල්ප ශාස්‌ත්‍රය දත් සම්භාවණීය බ්‍රාහ්මණ ප්‍රභූන් බැව් කිව යුතුය.
    ප්‍රාග් ඓතිහාසික යුගයේ හෙළදිව පුලතිසි විශ්‍රවත් මුනි ආදී ඉසිවරු ජීවත් වූ බැවින් විවිධ කලා ශිල්පයන් ට අධිපති පරුමකවරුන් ද එදා බ්‍රාහ්මණ සමාජයේ ජීවත් වූ බැව් කිව හැක. මේ අනුව පුලතිසි - ඉසිවර - නාමයෙන් හැඳින් වූ පරුමකවරයෙකි.
    වෛද්‍ය විද්‍යාව, සංගීතය, චිත්‍ර කලාව, අවි ආයුධ නිෂ්පාදනය, ගෘහ නිර්මාණ ශිල්පය ආදී සකල විවිධ කලා ශිල්ප වලින් ප්‍රාග් ඓතිහාසික යුගයේ හෙළදිව ඉමහත් දියුණු තත්ත්වයක පැවැති බැව් රාමායනයෙන් කියෑවේ.
    අවි නිෂ්පාදනයේ ඉතා උසස්‌ තත්ත්වයක වැජඹුණ යක්‍ෂ ගෝත්‍රිකයන් අතරද මෙම පරුමකවරු සිටි බැව් පුරාණ සෙල් ලිපි විමර්ශනය කරන විට දැක ගත හැක. පුරාණයේ හෙළදිව පැවැති සූසැට කලාව සඳහා ම පරුමකවරු සිටි බැව් "රාවණා කථා" පුස්‌කොල ග්‍රන්ථය අනුව කිව හැක. (නිල්ගල වලව්වේ පුස්‌කොල එකතුව).

    යකඩ නිෂ්පාදනය ලෝකයේ ප්‍රථම වරට සොයා ගත්තේ යක්‍ෂ ගෝත්‍රිකයන් විසින් බැව් ඉපැරණි ජනශුත වලින් කියෑවේ, යකඩ සොයා ගත්තේ ක්‍රි.පූ. තෙවැනි සියවසේ යෑයි එක්‌ මතයක්‌ ඇත. එය සාවද්‍යය ය. යකඩ නිෂ්පාදනය අවුරුදු 5000 කට පෙර දී ද හෙළදිව පැවැති බවට අපමණ සාධක ඇත. බලංගොඩ, රාස්‌සගල, ගම්පොල රාස්‌සහෙල කන්ද. මාතලේ පල්ලේපොල ආදී ප්‍රදේශවල යකඩ නිෂ්පාදනාගාර තිබූ බැව් ඉපැරණි කඩයිම් පොත් වලින් සොයා ගත හැක. නමුත් මෙම කලා ශිල්ප ප්‍රධානින් ගේ විෂය ධාරාව පුළුල් ලෙසත් ක්‍රමවත් ලෙසත් පැතුරුනේ උතුරු ඉන්දියානු සංක්‍රමණිකයන් හෙළදිවට සැපත් වීමත් සමඟ යයි පැවැසීම නිවැරදිය.
    ඉන්දු ආර්යන් හෙළදිව තුළ නව ජනාවාස බිහිකළ මුල් වකවානුවේ සිට මෙම පරුමකවරුන්ගේ ආධිපත්‍යය බෙහෙවින් දියුණු වී ඇති බැව් කිව හැක. විශේෂයෙන්ම දෙමළ පාලකයන් ට විරුද්ධව සුවිශේෂ කාර්ය භාරයක්‌ ඉටුකළ පරුමකවරු හෙළදිව දමිල බලය විනාශ කිරීමට මහෝපකාරී වූ දේශප්‍රේමීන් පිරිසක්‌ ලෙස ඉතිහාස ගත වී ඇත.
    විදෙස්‌ රාජ්‍යයන් සමඟ වෙළෙඳ ගනුදෙනු සහ වෙනත් ජාත්‍යන්තර සම්බන්ධතා දියුණු කිරීම පිණිස ද පරුමකවරුන්ගෙන් අමිල සේවයක්‌ සිදුවූ බැව් හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌ ආචාර්ය සද්ධා මංගල කරුණාරත්න කියයි. (01.02.96)

    මෙම පරුමකවරුන් පිළිබඳ මා විසින් කළ පර්යේෂණයේ දී සබරගමුවේ මාරඹේ වලව්වේ වීරසිංහ ප්‍රතිරාජයන් ගේ පරපුර ද පරුමක නාමයෙන් හමුවී ඇත. ඓතිහාසික සබරගමුවේ පරුමකවරු කිහිපදෙනෙක්‌ සිටි බව ට මූලාශ්‍ර හමුවී ඇත. දඹුල්ලේ ලෙනක්‌ සංඝයාට පූජා කළ පරුමක තිස්‌ස බ්‍රාහ්මණයා කවුදැයි සොයා බැලිය යුතු අතර, දක්‍ෂිණ ලංකාවේ පරුමක තිස්‌ස බ්‍රාහ්මණයා වලගම්බා නිරිඳුට (ක්‍රි.පූ. 104-103) විරුද්ධව සටන් මෙහෙය වූ බැව් මහා වංශය, දීප වංශය. නිකාය සංග්‍රහය කියයි. දඹුලු ලෙන පූජා කළේ එදා මහ පරුමක ලෙස පෙනී සිටි නාකුළුගමුවේ තිස්‌ස බ්‍රාහ්මණයා ද එසේත් නැතිනම් ඔහුගේ පරපුරට අයත් වෙනත් පරුමකවරයෙක්‌ ද යනු විමසා බැලිය යුත්තෙකි.
    "පරුමකගේ" යනුවෙන් වාසගමක්‌ මා දකුණු පළාතේ ඔප්පුවක දැක ඇත, කුමන ගමක, කුමන පෙදෙසක, කුමන කුලයකට සම්බන්ධව අද ජීවත් වූවත් එදා පරුමක තනතුර බෙහෙවින් උසුලා තිබෙන්නේ බ්‍රාහ්මණයින් බැව් නොරහසකි.
    මෙම කරුණු අනුව දුටු ගැමුණු මහ රජුගේ අග සෙනෙවි නන්දි මිත්‍ර යෝදයා ද බ්‍රාහ්මණ වංශිකයෙක්‌ බැව් කිව හැක. නන්දිමිත්‍ර යෝදයාගේ මුතුන් මිත්තන් දුනු සහ ඊතල නිෂ්පාදන ව්‍යාපාරයේ පරුමක වරුන් වූ අතර, එකල යුදඅවි නිෂ්පාදනය වංශවත් බ්‍රාහ්මණයින් යටතේ පැවැති රාජකාරියකි. (ඉන්ස්‌ ක්‍රීෂ්න් ඔෆ් සිලෝන් - පී. IXIX)
    ලක්‌දිවට අපමණ වරක්‌ බ්‍රාහ්මණයින් සංක්‍රමණය වී ඇති බැව් වංශ කථා වලින් කියවේ. විජයාවතරණයේ දී ද විජය කුමරු සමඟ බමුණන් පිරිසක්‌ ද සංක්‍රමණය වී ඇති අතර, විජය ඇවෑමෙන් භාරකාර රජු ලෙස කටයුතු කළේ උපතිස්‌ස (ක්‍රි.පූ. 505) බ්‍රහ්මණයා ය.
    විජයාවතරණයෙන් පසු වරින් වර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ යුගය දක්‌වා වූ බ්‍රාහ්මණ සංක්‍රමණ අපමණ ය.
    බොහෝ හින්දු බ්‍රාහ්මණයින් ද ලක්‌දිවට සම්ප්‍රාප්ත වූ පසු රාජ්‍යගම වූ බෞද්ධාගම ද සිංහල භාෂාව ද පිළිගෙන කටයුතු කළ බැවින් ඔවුන්ට සිංහල සමාජයේ උසස්‌ තැනක්‌ ගැනීමටත් යෙහෙන් වැජඹීමටත් වැඩි කලක්‌ ගත නොවුනි.
    මහා පරුමක හා පරුමක තනතුරු බෙහෙවින් ලබා ගැනීමට මෙම බුද්ධිමත් බ්‍රාහ්මණයින් ට හැකි වූයේ එබැවිනි. සිරිමා බෝධිය පැමිණීමෙන් වසර දෙදහස්‌ ගණනකට පසු රජ වූ ලඤජිතිස්‌ස (ක්‍රි.පූ. 119-109) නිරිඳුන් ගේ අගමැති ව සිටි පරපුරටද පරුමකවරු කීප දෙනෙක්‌ ඇතුළත් වූහ. වසිට්‌ගේ පුත් තිස්‌ස පරුමකවරයෙකි. එම පරපුරේ දත්ත පරුමක හා "මහා දොරතන" පදවි උසුලා ඇත. (එන්සයික්‌ලොපීඩියා සෙලනිකා Vol VV 10ග8ග11ග55 පිටු 418-410)
    මෙම වසිට්‌ ගේ පරපුර බ්‍රාහ්මණයින් බැව් මහාචාර්ය පරණ විතාන කියයි. (ශ්‍රී මහ බෝධිය ඉතිහාසය හා සංස්‌කෘතික පිටු 75)

    උතුරු නැගෙනහිර පළාත් වල සිට ශ්‍රී ලංකාවේ සෑම පළාතකම මෙම පරුමකවරු ජීවත් වූ බවට සෙල්ලිපි සාක්‍ෂි දරති. සිංහල බෞද්ධ සංස්‌කෘතිය වැළඳගෙන ජීවත් වූ මෙම සම්භාවනීය බ්‍රාහ්මණ පිරිස පසු කලක පාලන තන්ත්‍රයේ සියලු පෙරළිවලට මුහුණ දෙමින් සිය කුල මානයෙත් තනතුරුත් ආරක්‍ෂාවෙන පරිදි සමාජ අභියෝග වලට මුහුණ පෑ ආකාරය ප්‍රසංශනීය බැව් කිව යුතුය.
    කලක "ඉසිවරැ ලෙසින් ද ඊට පසු "පරුමක" නමින් ද ශ්‍රී ලංකාවේ පොදු යහපත පිණිස උදාර සේවයක්‌ කළ මෙම බ්‍රාහ්මණයින්ගෙන් පැවත එන්නන් පසු කලක සිංහල රාජ්‍යයේ දිසාවේ, අදිකාරම්, මහ අධිකාරම් ආදී තනතුරු දරමින් රට, දැය. සමය, සුරකීමට විශිෂ්ට ගණයේ සේවයක්‌ කළ බැව් කෘත ගුණ පූර්වකව සිහිපත් කළ යුතුය.

     ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

1 comment: